ආරවුල් නිරාකරණය

සමථකරණය යනු සහාය ඇතිව සිදු කරන සාකච්ඡාවකි: එයින් අදහස් කරන්නේ කුමක්ද?

සමථකාරවරයකුගේ සහාය ඇතිව පාර්ශ්වයන් තම ආරවුල සාකච්ඡා කරන්නේ කෙසේද?

Englishසිංහල
Illustration for Mediation Is Assisted Negotiation

ආරවුලක් ඇති වූ විට, පාර්ශ්වයන්ට තමන් අතරම සාකච්ඡා කර එය විසඳා ගැනීමට උත්සාහ කළ හැකිය. එහෙත් එවැනි සාකච්ඡාවක් සෑම විටම පහසු නැත. එක් එක් පාර්ශ්වය තම ඉල්ලීම නැවත නැවත ඉදිරිපත් කරන අතර, තමන්ට ඇහුම්කන් නොදෙන බවක් දැනෙන්නට පුළුවන.

සමථකරණය යනු එම සාකච්ඡාවට සමථකාරවරයකුගේ සහාය ලබා දෙන ක්‍රියාවලියකි. ආරවුල පිළිබඳව සාකච්ඡා කරන්නේ පාර්ශ්වයන්මය. සමථකාරවරයා ඔවුන්ට ආරවුලේ කරුණු පැහැදිලි කර ගැනීමට, එකිනෙකාගේ අදහස් ඇසීමට, හැකි විසඳුම් සලකා බැලීමට සහ තමන් පිළිගත හැකි දේ තීරණය කිරීමට උපකාර කරයි.

සමථකාරවරයා කරන්නේ කුමක්ද?

සමථකාරවරයා සාකච්ඡාව සිදුවන ක්‍රියාවලිය මෙහෙයවීමට උපකාර කරයි. එක් එක් පාර්ශ්වයට තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම, සාකච්ඡා කළ යුතු කරුණු හඳුනා ගැනීම, ප්‍රශ්න ඇසීම, ඇසූ දේ සාරාංශ කිරීම සහ හැකි විසඳුම් සලකා බැලීමට සහාය වීම ඊට ඇතුළත් විය හැකිය.

සමථකාරවරයාගේ කාර්යය පාර්ශ්වයන් වෙනුවෙන් ආරවුල තීරණය කිරීම නොවේ. පිටතින් බලන කෙනෙකුට විසඳුමක් පැහැදිලිව පෙනුණත්, එය පාර්ශ්වයන්ට සැබැවින්ම වැදගත් වන කරුණු ආමන්ත්‍රණය නොකරන්නට පුළුවන. යෝජිත විසඳුමක් තමන්ට පිළිගත හැකිද යන්න තීරණය කරන්නේ පාර්ශ්වයන්ය.

පාර්ශ්වයක් කරන ඉල්ලීමෙන් ඔබ්බට බලන්නේ ඇයි?

ව්‍යාපාරික ගනුදෙනුවක ගෙවීමක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වූ බව සිතමු. එක් පාර්ශ්වයක්, “සම්පූර්ණ මුදල දැන්ම ගෙවිය යුතුයි” යැයි කියයි. අනෙක් පාර්ශ්වය, “ඒ මුදල ගෙවන්න බැහැ” යැයි කියයි.

මේවා ඔවුන් ප්‍රකාශ කරන ස්ථාවරයන්ය. තවදුරටත් සාකච්ඡා කරන විට, එක් පාර්ශ්වයකට මුදල් ගලා ඒම පිළිබඳ ගැටලුවක් තිබිය හැකි අතර අනෙක් පාර්ශ්වයට තමන් කළ කාර්යයට නියමිත ගෙවීම ලැබෙන්නේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවක් තිබිය හැකිය. කළ කාර්යයේ ගුණාත්මකභාවය හෝ ඉදිරියේදී දෙපාර්ශ්වය අතර පවතින ව්‍යාපාරික සබඳතාව ද වැදගත් විය හැකිය.

මෙම අවශ්‍යතා සහ සැලකිලි තේරුම් ගැනීමෙන් පමණක් ආරවුල විසඳෙන්නේ නැත. එහෙත් මුල් ඉල්ලීම් දෙකට සීමා නොවී, පාර්ශ්වයන්ට වෙනත් හැකියාවන් සලකා බැලීමට එය ඉඩ සලසයි.

සමථකරණය නියමිත පියවර මාලාවකට අනුවම සිදු විය යුතුද?

සමථකරණයකදී සාමාන්‍යයෙන් පෙර සූදානම, ආරම්භක සාකච්ඡාව, සාකච්ඡා කළ යුතු කරුණු හඳුනා ගැනීම, පාර්ශ්වයන්ගේ අවශ්‍යතා ගවේෂණය කිරීම සහ විකල්ප සලකා බැලීම වැනි අදියර තිබිය හැකිය. පාර්ශ්වයන් එකඟතාවකට පැමිණියහොත්, එය සටහන් කිරීම ද අවශ්‍ය විය හැකිය.

මෙම අදියර සාකච්ඡාවට දිශාවක් ලබා දෙයි. එහෙත් සෑම ආරවුලක්ම එකම අනුපිළිවෙළට සාකච්ඡා කළ නොහැකිය. විකල්පයක් ගැන කතා කරමින් සිටියදී කලින් සඳහන් නොවූ වැදගත් කරුණක් මතු වුවහොත්, තීරණයකට පැමිණීමට පෙර නැවත ඒ කරුණ ගැන සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් විය හැකිය.

එබැවින් සමථකරණයට ව්‍යුහයක් තිබුණත්, පාර්ශ්වයන්ගේ අවශ්‍යතා අනුව සාකච්ඡාව හැඩගැසීමට ඉඩ තිබේ.

එකඟතාවකට පැමිණිය යුතුද යන්න තීරණය කරන්නේ කවුද?

එය තීරණය කරන්නේ පාර්ශ්වයන්මය. යෝජනාවක ප්‍රායෝගික පැති සලකා බැලීමට සමථකාරවරයාට ඔවුන්ට උපකාර කළ හැකිය. එහෙත් පාර්ශ්වයන් වෙනුවෙන් එකඟතාවක් ඇති කිරීමට ඔහුට හෝ ඇයට නොහැකිය.

පාර්ශ්වයන්ට මුළු ආරවුලම නිරවුල් කර ගැනීමට, ඇතැම් කරුණු පිළිබඳව පමණක් එකඟ වීමට, නැතහොත් එම අවස්ථාවේ එකඟතාවකට නොපැමිණීමට හැකිය. එකඟතාවක් ඇති නොවුණත්, ආරවුල සහ අනෙක් පාර්ශ්වයේ සැලකිලි වඩා පැහැදිලිව තේරුම් ගැනීමට සාකච්ඡාව උපකාරී වී තිබිය හැකිය.

මූලික අදහස

සමථකරණයේදී පාර්ශ්වයන්ට දුෂ්කර සාකච්ඡාවක් කරගෙන යාම සඳහා සහාය ලැබේ. සමථකාරවරයා සාකච්ඡාවට මඟ පෙන්වයි. ආරවුල නිරවුල් කර ගන්නේද, එසේ නම් කවර කොන්දේසි මතද යන්න තීරණය කරන්නේ පාර්ශ්වයන්ය.

අදාළ ලිපි

සමථකරණය යනු සහාය ඇතිව සිදු කරන සාකච්ඡාවකි
සමථකරණයකට සූදානම් වීම

කර්තෘ ගැන

ප්‍රධාර කොටඹගේ ශ්‍රී ලංකාවේ සිවිල් හා වාණිජ නඩු කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති නීතිඥවරයෙකි. ඔහු ආරවුල් නිරාකරණය සහ සමථකරණය පිළිබඳ වෘත්තීය උනන්දුවක් දක්වයි.

සටහන: මෙම ලිපිය සමථකරණය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා දීම සඳහාය. නිශ්චිත ආරවුලකට අදාළ නීතිමය ක්‍රියාවලිය වෙනම සලකා බැලිය යුතුය.

← ආරවුල් නිරාකරණ ලිපි වෙත